ඔබට මිය යන්නට වුවමනා නම් එක වරක් ආදරය කරන්න කරන්න..සත්තයි ඔබ මරණයට වෛර කරාවි..!!!

Friday, March 8, 2013

මගේ කතාව මට වඩා හොඳට වෙන කවුද දන්නේ

බස් එකේ වේගේ අඩු වුනේ වැස්ස හින්දා වුනත් මම අද කවදාවත් නැතුව ඒ ප්‍රමාදවීමට ආසා වුනා. වෙනද පොඩ්ඩ ඇත්නම් පරක්කු වුනාම කේන්ති ගන්න මං ගැනම මට හරි පුදුමයි. කේන්තියක් හිතේ අහලකවත් නැති එක ගැන.  මම හිතන්නේ වාන් දමන වේල්ලක වැව් බැම්ම ඒ තෙරපෙන වැව් දියට කරන්නේ මහා අසාධාරණයක්. ඒ වගේම තමයි උතුරලා පිටාර ගලලා  යන්න වෙර දරන හැඟීම් වලට එරෙහිවෙන ඇහැට පෙන්නේ නැති බන්ධනයක් මට අසාධාරණයක් කළා. ඒ මොකක්ද කියලා මම දන්නේ නෑ. සමහර විට ලැජ්ජාව, ගතානුගතික සාම්ප්‍රදාය වෙන්න පුළුවන්, අපේ සංස්කෘතිය වෙන්න පුළුවන්. ඒ මොකක්ද කියලා තේරුම් ගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ..ඕනෙකමක් තිබුනෙත් නෑ තේරුම් ගන්න. ඒ වුනාට ඒ සීමාවල් වලින් ඔබ්බට ගිහින් මගේම හිතට විරුද්ධව  මං ඒ රස්තියාදුකාරයා දිහා හොරෙන් බැලුවා. කීප වතාවක්ම....ඔබ මගෙන් අහයි කෙල්ලෙක්ට කොල්ලෙක් දිහා බලන්න තහනම්ද කියලා. ඔව් එහෙම තමයි. කෙල්ලෙක් කොල්ලෙක් දිහා බැලුවොත් ඒක අසම්මතයි කියන සමාජයක අපි  ඉන්නේ. සම්මතය රකින්න කියල නීතියක් නෑ. ඒත්.අනේ මන්ද..... හ්ම් ඔව්... මම දැක්කා ආඩම්බරේට හිටියට ඒ ඇසුත් අහම්බෙන් මාව හොයනවා...ඒ ඇස් වල තිබ්බේ මහා පුදුම හැඟීමක්.. ඔව් කතා කරන ඇස්..ඔව් ඔව් ඒවාට තමයි කියන්නේ කතා කරන ඇස් කියලා. 


කෙල්ලෙක් ලේසියෙන් රවට්ට ගන්න පුළුවන්, කෙල්ලෙක්ට ලෝබ හිතෙන මහා පුදුම ඇස් දෙකක් එයාට තිබුනේ. මට ඉරිසියාවක් හිතුනා දැනටමත් ඒ ඇස් දෙකට අයිතිකාරියක් ඇති කියලා. අනේ දෙවියනේ එහෙමනම් වෙන්න එපා. ජීවිතේ පලවෙනි වතාවට නන්නාදුනන කෙනෙක් වෙනුවෙන් කවදාවත් දැකලා නැති දෙවියන්ගෙන් මම ඉල්ලුවා.  කෙනෙක්ට කෙනෙක් ගැන වචන වලින් විස්තර කරන්න බැරි හැඟීමක් ඇති වෙනවනම් මම හිතන්නේ ඒ ආදරයේ උපරිම අවස්ථාව එහෙමත් නැත්තම් වෛරයේ උපරිම අවස්ථාව. ඔව් ඒ මොහොත මට වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ කියන්නේ මේ අහිංසකයා ගැන වෛරයක් ඇතිවෙන්න කොහොමවත් හේතුවක් නැති කොට මේ ඇති වෙලා තියෙන්නේ ආදරයක්ද..?..මම දන්නේ නෑ  දෙයියනේ මට මේ මොකක්ද වුනේ. අනේ මම දන්නේ නෑ මට හයියෙන් කෑ ගහන්න ඕනි වුනා...උඩ පැන පැන නටන්න හිතුනා. මම දන්නේ නෑ හැම කෙල්ලටම එහෙමද කියලා. ඒත් මට එහෙම හිතුනා. ඒ බස් එක ඇතුලේ කෑගැහුවොත් හෙම මං පිස්සියක් කියලා හිතයි. මම බොහොම අමාරුවෙන් ඒ හැඟීම යටපත් කර ගත්තා.

හිතකට ආදරයක් දැනුනාම, හිතක් තමන් රකින සීමා මායිම් බිඳින්න ඒහැටි වෙලාවක් ගන්නේ නෑ. මහා ලොකුවට රකිනවයි කියන ප්‍රතිපත්ති බිඳින්න ඒ ආදරේට ඒහැටි වෙලාවක් යන්නේ නෑ. වෛරය වුනත් එහෙමයි ඔය කියන සාම්ප්‍රදායන් බිඳින්න ඔය කියන හැඟීම් දෙකට තියෙන්නේ පුදුම හැකියාවක්. තමන් ආදරේ කරන වෛර කරන පුද්ගලයා කෙරෙහි හිතේ ඇතිවෙන්නේ මහා ප්‍රභල හැඟීමක්.

කොහොම හරි බහින තැනත් කිට්ටු වෙන්න ආවා. කතාවේ අවසානයක් ඔබට හිතා ගන්න පුළුවන් වුනාට මම හිතනවා ඔබ මගෙත් එක්කම මම කියන කතාව අහාවී කියලා. නීරස වෙන්න පුළුවන්.. ඒත් මම දන්නවා අකමැත්තෙන් හරි ඔයා ඒ කතාව අහයි කියලා. මම විශ්වාස කරන්නේ නෑ ඔබ මාව මගහැර යාවි කියලා. 

එළියේ වැහිපොදය තවම එහෙමමයි. ඇවිදගෙන ටික දුරක් ගියත් හොඳටම නැවෙන තරම්. ඒ මදිවට සීතල. කලබලෙට පටලාගෙන ආව සුදු දිග සාය පුරාම මඩ ඉහිලා තියනවා මට මැවිලා පෙනුනා..මම සාය අතින් උස්සගෙන යනකොට ඔයා හිනාවෙයි. මට එහෙමත් හිතුනා. .මම හිතේ හෝදිස්සියට බෑග් එකට අත දාල මගේ සුපුරුදු රෝස පාට කුඩේ හෙව්වා. ඒත්  දෙවියනේ අද මම කුඩේ ගෙනල්ලා නෑනේ. ඒ සීතල අස්සේ මගේ තොල්පට දිගේ දාඩිය දානවා වගේ දැනුනා. දැන් කොහොමද බහින්නේ. බැහැල යන්නේ.

"හන්දියේ බහින අය දොරගාවට එන්න"..මට කොන්දොස්තරත් එක්කත් තරහයි. මම කලබලෙන් අන්තිම වතාවටත් කියලා හිතාගෙන ඒ හිතුවක්කරයා දිහා බලලා බස් එකෙන් බහින්න ඉස්සරහ දොර ගාවට ආවා. බස් එක බස් හෝල්ට් එකට යාර පහ හයක් තියලා නැවැත්තුවේ ඩ්‍රයිවර්ගේ නොහොබිනා විහිළුවක් කියලා මම දැන ගත්තා. මම බෑග් එක ඔලුවට තියාගෙන අනික් අතින් ගවුම පොඩ්ඩක් අතින් අල්ලාගෙන බස් හෝල්ට් එකට දුවගෙන ගියා. මාව පහුකරලා යන බස් එක ගියේ නම් මගේ පපුව උඩින් කියලා මට දැනුනේ. මාව පාස් කරගෙන ගියපු බස් එක හරියටම හෝල්ට් එක ඉස්සරහින් නැවැත්තුවා.

දෙයියනේ හිතුවක්කරයා. බස් එකෙන් බැස්සා. විශ්වාස කරන්න පුලුවන්ද.. ඔව් මම වැස්සේ නැවතිලා බලාගෙන හිටියා ඒ දිහා

~ ඉතිරිය මතුවට ~

 


Sunday, March 3, 2013

මේ මගේ කතාව..මට කියන්න පුළුවන් හොඳම විදිහ


     මොකක්දෝ මන්දා හිත රිදීමකට එදා මම මගෙත් එක්කම තරහ වෙලයි උන්නේ. ඊටත් වඩා කේන්තියෙන් හිටියේ..ගෙදරින් පිටවෙනකොටත් හිතේ මොකක්ද කැකෑරෙන දෙයක් පැටලිලා වගේ තිබුනත් ඒ අරකයි මේකයි කියල වෙන් කරලා මට හරියටම අඳුන ගන්න බැරි වුනා. කොටින්ම කියනවනම් ඒ මොකක්ද කියල අඳුන ගන්න මට ඕනෙකමක් තිබුනේ නෑ,  ඊටත් වඩා එදා යන්න තිබුන ගමන ඉක්මනට යන්න ඕනි නිසා ඒවා ගැන හිත හිත ඉන්න ගියෝතින් තවත් හොඳටම පරක්කු වෙන නිසා මං එච්චර හිතන්න ගියේ නෑ. බස් එකට නැගලා ටික දුරක් යනකොට කොහේදෝ යන මහ පත වැස්සක් කඩා වැටුනේ මගේ කේන්තියේ ඉවසා දරා ගැනීම උරගා බලන්න වෙන්න ඇති. ඒත්....ඒ වැස්ස.....ඔව් ඒ හිතුවක්කාර වැස්ස, මගේ ජීවිතේම ගහගෙන යයි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ.

     බස් එකේ සීට් ගානට වගේ සෙනග හිටිය නිසා එච්චරම තදබදයක් තිබුනේ නෑ...ඔව් කොහොමත් තදබදයක් තිබුනෙම නෑ..වටේම කළු වෙලා හයියෙන් හුලං අල්ලනවා. පාර දෙපැත්තේ ගස් එහාට මෙහාට ඇඹරෙනවා මට හොඳට පෙනුනා. හරි අමුතු මුසල ගතියක් වටපිටාව පුරාම පැතිරිලා තිබුනා. පැත්තේ වීදුරුව හොඳටම වහල තිබුනත් වීදුරුවට උඩින් තිබුන පුංචි කාවුලෙන් හිරිකඩ හුළඟත් එක්ක සීතලම සීතල වැහි වතුර බින්දු දෙක තුනක් මගේ පිටි අල්ලට සැරින් සැරේ වැටුනා. හීතලට මගේ ඇඟේම හිරිගඩු පිපුනා. මම හිතෙන් බැන බැන අතේ ගුලි වෙලා තිබ්බ ලේන්සුවෙන් වැහි වතුර බින්දු පිහ  දැම්මා. ඔය අතරේ මට එහා පැත්තේ ඉඳගෙන හිටපු ඇන්ටි බස් එකෙන් බැහැල යනවා වගේ මට තේරුනත් එච්චරම ඒ ගැන නිච්චියක් ගියේ නැත්තේ මං කෙන්තියන් හිටපු හින්දද..? "ලමිස්සියෙක් වුනාම වටපිටාව ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනි, පොඩ්ඩ වෙලාවත් ඇති වරදින්න" අම්මා මන්තරේ වගේ නිතරම කියන කතාවක් මට මතක් වුනා.

     මොකක්දෝ කල්පනාවක ගිලිලා බිම බලාගෙන හිටපු මං ඔලුව උස්සල වටපිට බැලුවේ "අද නම් මහා කරුමක්කාර දවසක්" කියල මටම කියාගෙන. ඒත් ඒ පිටවුණ වචන පහ හය ගැන  මම අද ගොඩක් පසුතැවෙනවා..හ්ම්... ඇත්තටම කියනවනම්.. මගේ ජීවිතේ එදා තරම් වටින දවසක් ආයෙම ඒවි කියලා මට හිතන්න අමාරුයි. ඔව්...කොහොමත්ම හිතන්න අමාරුයි. මොකද එදා තරම් මගේ ජීවිතේ වෙනස් කරපු දවසක් මගේ ගෙවුන උපන්දින විසි එක ඇතුලේ ගෙවුන එක දවසකවත්  තිබුනේ නැති තරම්. ඒ තරමටම ඒ දවසට, ඒ මොහොතට මම අදත් පුදුම විදිහට ආදරේ කරනවා...ආදරේ...ම්..ම්..ඇත්තටම ආදරේ කරනවා කියනවට වඩා හොඳ වචනයක් නැත්ද ඒ මොහොත හඳුන්වන්න. ඔව්...ඔව්..කියවන ඔබෙන් අහන්නේ... නැද්ද....?......ම්...ම්......ආදරේට වඩා වටින වචනයක්......!! ආදරේට වඩා වටින වචනයක් තවත් කොහෙද.......පිස්සුනේ අපිට...සමාවෙන්න.....සමාවෙන්න.......පිස්සුනේ මට......!!

     වැස්සට තෙමිච්ච කපුටෙක් වගේ ඔලුව අවුල් කර ගත්ත, හිතුවක්කාර වැහි බින්දු වලින් නැවිච්ච කළුම කළු මුණ මැද්දේ දිලිසුන අහිංසක ඇස් දෙකක් හදිසියේ මගේ ඇස් වල පැටලුනා. ඔව්...මහ හුඟ වෙලාවක් නෙමෙයි...පුංචිම පුංචි, මේං කියල කියන්න බැරි තරම් පුංචි කාලයක මගේ ඇස් නන්නාදුනන රස්තියදුකාරයෙක්ගේ ඇස් අස්සේ අතරමං වුනා. ඇත්තටම මටම පුදුමයි ඒ වගේ රස්තියාදු කාරයෙක්ට කොහෙන්ද ඒ තරම් අහිංසක ඇස්...?..  මට පිස්සු...මොනවද මම මේ හිතන විකාර...ඇසිල්ලකට මුණ ගැහුන ඒ ඇස් ගැන අමුතු ලෝබකමක් දැනුනා. හරියට...හරියට....අහසක්.....ම්ම්ම්ම්...නෑ....කාන්තාරයක්.... .නෑ...නෑ සමාවෙන්න....මට වචන හොයා ගන්න බෑ ඒ හැඟීම විස්තර කරන්න.  කොහොම හරි එදා ඒ තප්පරෙන් මිදෙන්න මට බැරි වුනේ ඇයි කියල එදා හිතුනේ නැති වුනාට අද මං දන්නවා...ඔව් ඕනෙවටත් වඩා හොඳට දන්නවා.  වැහි වතුර පිටි අල්ලට වැටුන වෙලේ ඇඟ හිරිවැටුනාට වඩා සිය දහස් ගුණයකින් මේ අහිංසකයා දැකල මගේ හිත හිරි වැටුනා..

     ඔව් මං මේ කියන්න හදන්නේ....හීන් සීරුවේ ගලපන්නේ  ඒ අහිංසකයාගෙයි මගෙයි කතාව..මම ආදරේ කරන...නෑ සමාවෙන්න, මං ආදරේ කරපු,  මගේ ජීවිතේට ආදරේ අරං ආව හිතුවක්කාරයාගේ කතාව.. කොටින්ම කියනවනම් මේ  මගේ කතාව....මට කියන්න පුළුවන් හොඳම විදිහ...සවන් දෙන්න ඔබ සුදානම් නම් මමත් සුදානම් ඒ කතාව ඔබට කියන්න....ඔව්.....කාටවත් නොකියපු ඒ කතාව අහන්න ඔබ සුදානම්ද...?


පින්තුරය




  ~ අප්සරා ~ 
    

Thursday, February 28, 2013

රෑ මනාළී

ගිලිහී ගිය මල
නටුවෙන්
පාවී පාවී
ඈතටම
ගියා අනාථව
නවතින්න තැනක්
කෝ කොහෙද
කොතනත් එකයි දැන්
ගිලිහුන පසු
නටුවෙන්..
ඇරයුමක්
ලැබෙන තුරු
නවතින්නට
හදවතක සදහට
පාලු බස් නැවතුම්
අඳුරු අවන්හල්
සැප ලැගුම්හල්වල
ගිමන් හරිමි
හිතු මනාපේ
කාසි පඬුරට
කැන්දාගෙන යන තුරු
අහිංසක රෑ මනාළී
මල්දුන්නෙන් වඩින
කුමරු පැමිණ

~ අප්සරා ~

Wednesday, February 27, 2013

ආදරණීය ඔබට ලියන වගනම්...



දන්නවද
මට ඕනේ
හදා ගන්න
ඔයා බිඳපු
මගේ හිත..
පුලුවන්ද
නෑවිත් ඉන්න
එකම එක
හීනෙකින්වත්
ආයේ සදහටම


හිත හදාගන්න කොයිතරම් උත්සාහ කලත්, නොඅඬා ඉන්න කෙතරම් දත්මිටි කෑවත්, පුන පුනා මටම වද දෙන අපේ මතකය අකුලා පොඩි කර හිතෙන් පිටමං කරන්න හැදුවත් මට ඒ දේ හිතට එකඟව කරගන්න බැරි බව ඔයා තවමත් නොදන්නවා ඇති.... සුන්දර වූ අතීතයෙන් බුර බුරා නැගෙන ගිනිදැල් අනීවාරතේ හදවත සිදුරු කරන්නේ ඇයිද යන පැනයට  මම නිරුත්තර වන්නේ මන්දැයි නොදනිමි. අහස පොලව ගැටලන්නට උදේ හවස කල්පනා කරමි. ඔබ මගෙන් වෙන් කිරීමට එරෙහි වූ මගේ පාපතර අවාසනාවන්ත දෛවයට සාප කරමි.
 
මගේ ජීවිතේ පණ ගැහෙන්නේ ඒ මතක කන්දරාවේ රස්නෙන් වග මට දැනෙනවිට ලේ නහර උණුවෙන ආදරණීය ලෝබ කමින් ඔබවම සොයන්නේ මන්ද යන පැනයටද  පිළිතුරක් නැතිව මම නැවත ගොළු වෙමි. දුක තුනී කරගන්නට ලියවුන කවි කඩදාසි කොළ පිරෙද්දී නිබඳවම ඔබේ සුවඳ මා වෙලා අපහසුතාවයට පත් කරයි. දෙසවන බිහිරි කරන ඔබේ ආදරණීය ආමන්ත්‍රණය මා සිහිසුන් කරවයි..

නමුදු මම පියවරෙන් පියවර හෝ ඇවිද ගොස් අපේ මතක සැමරුම් පාලු කනත්තක වල දමමි...එදාට ඒ සොහොන් කොතෙන් නැගෙන විලාපය ඔබේ දෙසවන බිහිරි කරාවි..මට දොස් නොනගන්න..මක් නිසාද යත් ඊට හේතුව ඔබ මට වඩා හොඳින් දන්නා නිසාවෙනි.


~ අප්සරා ~
2013.02.27
  

මියැදුන මල





මැලවුන මලක
පෙති සිඹ
කුමට නුඹ
හඬන්නේ..
නැතිවාද
දන්නේ
සුවඳ නැති වග
සිඹින්නට
මියුණු මල් වල